නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 39 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස රත්‍රං ප්‍රවාහනය කිරීම, නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වීම, නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කිරීම සහ මුහුදු මාර්ග ඔස්සේ අනවසරයෙන් පරෙවියන් රැගෙන ඒම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරක් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 02 වන දින නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා ගනිමින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 66 ක් සොයා ගෙන ඇත. තවද, ඔක්සිජන් සිලින්ඩර් 03 ක් සහ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක්ද එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, සොයා ගන්නා ලද මසුන් තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුතුර්, ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.
එදිනම නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඌරුමලෙයි වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස පරෙවියන් 26 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පරවියන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නැගෙනහිර නාවික විධානයට ලද තොරතුරකට අනුව එම විධානයට අනුයුක්ත නාවිකයන් සහ ත්‍රිකුණාමලය පොලිස් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය අප්‍රේල් 04 වන දින එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ ජෙලට්නයිට් කූරු 04 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ ජෙලට්නයිට් කූරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
එදිනම, එම නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, චැපල් දුපත සහ පාවුල් තුඩුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිස් දෙදෙනෙකු (32) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 4 ක්, තහනම් දැල් 4 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 165 ක්ද නාවික හමුදා භාරයට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුල්මුඩේ පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය අප්‍රේල් 07 වන දින සිදු කළ වැටලීමකදී නීති විරෝධි ලෙස මුහුදු වැලි ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී වැලි ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ලොරි රථයක් සහ නීති විරෝධි ලෙස රැගෙන ගිය වැලි කියුබ් 03 ක් නාවික හමුදා භාරයට පත් විය. එම පුද්ගලයා, ලෝරි රථය සහ වැලි තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දෙන ලදී.






