ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ඇකෙබොනෝ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 09) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
ඇකෙබොනෝ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වීමෙන් අනතුරුව, දකුණු විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා, නාවික හමුදා අධ්යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා ඇතුළු දකුණු නාවික විධානයට අනුයුක්ත නිලධාරින්, වෙරළ ආරක්ෂක නිලධාරින් සහ ගුවන් හමුදා නිලධාරින් පිරිසක් එහි නිරික්ෂණ චාරිකා වාරයක නිරත වූ අතර, එහිදී එම නිලධාරින් සෙවිමේ සහ මුදවා ගැනීම පිළිබඳ සම්මන්ත්‍රණයකට ද සහභාගී වන ලදී.
තවද, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර්, යුචි හෙනෝ මහතා දකුණු විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් සමරවිර මහතා හමුවූ අතර, එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, දෙදින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව අද දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.








