නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම අනවසරයෙන් කඩොලාන ශාක කෑපීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මුහුදු මුර සංචාරයේ යෙදීසිටියදී පසුගිය අප්‍රේල් මස 20 වන දින කිඹුල්බොක්ක මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් සිව් (04) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඔවුන් සතුව ධිවර අවසරපත් නොමැති බව තහවුරු කර ගත් අතර, ඩිංගි යාත්‍රා දෙකක් (02) ලයිලා දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 10 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, මසුන් තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ සිලාවතුර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය අප්‍රේල් මස 20 වන දින නරිවිල කුලම් වෙරළ තීරයේ කඩොලාන ශාක කපමින් සිටියදී පුද්ගලයින් පස්දෙනෙකු (05) ඒ සඳහා භාවිතාකල උපකරණ හා ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයින් සහ උපකරණ සිලාවතුරයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.
තවද නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දුෂණ මර්ධන කොට්ඨාෂයේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය අප්‍රේල් මස 20 වන දින සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී නිවසක් වැටළිමෙන් පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරීම සඳහා භාවිතා කරන උපකරණ සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම පුද්ගලයා සහ මසුන් මැරීම සඳහා භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය උප්පුවේලී පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වෙරළාරක්ෂක නාවිකයින්ගේ සහය ඇතිව පසුගිය අප්‍රේල් මස 19 වන දින නොර්වේ තුඩුව ආසන්න ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් සිව් (04) දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඩිංගි යාත්‍රාවක් සහ අල්ලන ලද අලගොඩු වර්ගයේ මසුන් කිලෝග්‍රෑම් 540 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, මසුන් තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.









