බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සාගර නෞකාව ඉන්දුනීසියාව බලා පිටත්වෙයි
බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව අද (අප්‍රේල් 24) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත් විය. මෙම නෞකාව වරායෙන් පිටත්වීම නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.
නෞකාවේ සමස්ථ කාර්යය මණ්ඩලය 192 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 20 දෙනෙකු සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 04 දෙනෙකු ද ඇතුළත් වේ.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරල් නිරාජ ආටිගල මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ. එහිදී, ආඥාපතිතුමන් විසින් නෞකාවේ අණදෙන නිලධාරීට සහ නැව් මුළුව වෙත සුභ පැතුම් එක් කරන ලද අතර, එම නෞකාව මැයි මස 04 වන දින ඉන්දුනීසියාවේ ලෙම්බාර් වරාය වෙත ලඟා වීමට නියමිතය.
මෙම බහුපාර්ශවික කොමෝඩෝ පුහුණු අභ්‍යාසය සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුම මැයි මස 04 වන දින සිට 09 වන දින දක්වා ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපතේදී සිදු කිරීමට නියමිතය. එහිදී සංස්කෘතික වැඩසටහන්, තාක්ෂණික ගුවන් කටයුතු පිළිබඳ වැඩසටහන්, සාගරික ප්‍රදර්ශන, ප්‍රජා ඉංජිනේරු ක්‍රියාකාරී ව්‍යාපෘති සහ ප්‍රජා වෛද්‍ය ක්‍රියාකාරී ව්‍යාපෘති, ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස වැනි වැඩසටහන් 12 ක් මෙම බහුපාර්ශවික කොමෝඩෝ පුහුණු අභ්‍යාසය සඳහා ඇතුලත් වන අතර, රටවල් 43 ක නාවික හමුදාවන් එක්ව මෙම අභ්‍යාසය සිදු කිරීමට නියමිතය.





