වෙසක් දිනය නාවික හමුදාව සැදැහැ සිතින් සමරයි
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2562 ක් ගතවන මෙම වසරේ ජාතික වෙසක් දින උළෙලට සමගාමීව නාවික හමුදාව විසින් ආගමික ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබුණ අතර, ඒ අනුව හුණුපිටිය ගංගාරාම ‘බුද්ධ රශ්මී’ කලාපය, කොළඹ වරාය ‘කොලොම්තොට’ වෙසක් කලාපය, ‘සිරස’ වෙසක් කලාපය සහ දිවයිනේ විවිධ ස්ථානයන්හි අති උත්කර්ෂවත් ලෙස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා මූලස්ථානය සහ නාවික හමුදා බෞද්ධ සංගමය රට පුරා පිහිටි වෙසක් කලාප සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් එම වෙසක් කලාප සැරසීම, බැති ගී ප්‍රසංග පැවැත්වීම, දන්සැල් පැවැත්වීම සහ විශේෂ ආගමික වැඩසටහන් සඳහා දායකත්වය සැපයිමට කටයුතු කරන ලද අතර, සියළු නාවික විධානයන් ආවරණය වන පරිදි වෙසක් දින උත්සව පැවැත්විමට කටයුතු කරන ලදී.
ඒ අනුව, දකුණු නාවික විධානය, බටහිර නාවික විධානය, නැගෙනහිර නාවික විධානය, උතුරු මැද නාවික විධානය, වයඹ නාවික විධානය සහ ගිණිකොන නාවික විධානය මඟින් එම විධාන වලට අයත් ප්‍රදේශයන් ආවරණය වන පරිදි උත්කර්ෂවත් වෙසක් කලාපයන් සංවිධානය කර තිබු අතර, එහිදි බෝධි පූජා පිංකම්, ආගමික වැඩසටහන් සහ වෙසක් කූඩු ප්‍රදර්ශන ද පැවැත්විමට කටයුතු යොදා තිබුණි. තවද, නැගෙනහිර නාවික විධානය විසින් සංවිධානය කරන ලද වෙසක් කලාපයේ අලංකාරවත් බැති ගී ප්‍රසංගයක් පැවැති අතර, එම බැති ගී ප්‍රසංගය පැමිණි සිටි සියළුදෙනාගේ ප්රසංශාවට ලක් වීය.
තවද, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් දඹකොල පටුන විහාරස්ථානය අවට ප්‍රදේශය ආවරණය වන පරිදි අලංකාර වෙසක් කලාපයක් සංවිධානය කර තිබිණි. මිට සමගාමිව දන්සල් සංවිධානය කර තිබුණු අතර, නාගදීප විහාරවාසී, පුජ්‍ය ආරියකිත්ති හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දඹකොල පටුන විහාරස්ථානයේදී අට සිල් සමාදන් වීම, ධර්ම දේශණා සහ බෝධි පූජා පිංකමක් පවත්වන ලදි. මෙම පුණ්‍ය කටයුත්තේ ප්‍රධාන අරමුණ වූයේ උතුරු අර්ධද්වීපයේ වෙසෙන ජනතාව අතර ආගමික සහජීවනය සහ සාමාජීය වශයෙන් සංහිදියාව ඇති කරලීමයි.























