මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ඊයේ (ජුනි 10) හම්බන්තොටට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය. මෙම ධීවර යාත්‍රාව පසුගිය ජුනි මස 08 වන දින තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, හම්බන්තොට මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත.
ඒ අනුව, මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතාගේ උපදෙස් මත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව, මහ රාවණ (Great Bases) ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 08 දුරින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබියදී වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් ඔවුන් සොයා ගැනීමට සමත් විය.
ඉන් අනතුරුව නාවික යාත්‍රාව මඟින් එම ධීවරයින් ආරක්ෂාකාරී ලෙස හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ ධීවරයින් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.





