මුහුදේ අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගනියි
උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාව මඟින් ඊයේ (ජුනි 12) ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිය ධීවර යාත්‍රාවේ ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධීවරයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් විය.
ලෙසාන් 4 (Lesan 4) නමැති මෙම ධීවර යාත්‍රාව පසුගිය මැයි 08 වන දින ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී එම යාත්‍රාවේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙසේ අනතුරට ලක් වී ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත මුර සංචාරයේ නියුතුව සිටි සයුරළ නෞකාව එම ධීවරයින් සහ යාත්‍රාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ත්‍රිකුණාමලය, පවුල් තුඩුවට නාවික සැතපුම් 198 ක් දුරකදී අදාල ධීවර යාත්‍රාව පාවෙමින් තිබියදී ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ මඟින් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවිකයින් මුහුදේ පැවැති රළු භාවයද නොතකමින් දැඩි පරිශ්‍රමයක් යොදා එම ධිවරයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන ලදී
ඉන් අනතුරුව නෞකාව මඟින් එම ධීවරයින් සහිත යාත්‍රාව ආරක්ෂාකාරී ලෙස ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. නිරුපද්‍රිත ලෙස රැගෙන එනු ලැබූ ධීවරයින් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.









