ශ්රී ලංකා නාවික නෞකා ‘රණධීර’ නෞකාව සිය 22 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්රී ලංකා නාවික නෞකා රණධීර නෞකාව අද (ජුනි 22) සිය අභිමානවත් 22 වන සංවත්සරය සමරන ලදී. එය නිමිති කර ගනිමින් නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් (මාලිමා) ගයාන් වික්රමසුරිය මහතා සහ විධායක නිලධාරී ලුතිනන් ගයාන් ගමගේ මහතා ඇතුළු කාර්යය මණ්ඩලය වැඩසටහන් කිහිපයක් ක්රියාත්මක කරන ලදී.
ඒ අනුව, 22 වන නෞකා දිනය වෙනුවෙන් අද දින ශ්රී ලංකා නාවික හමුදා සම්ප්රදායට මුල් තැන දෙමින් නෞකාවේ අණදෙන නිලධාරිතුමා විසින් කොළඹ, ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ සරඹ පිටියේදී අංශ පිරික්සුම පවත්වන ලදී. තවද, අද දින අණදෙන නිලධාරිතුමාගේ ප්රධානත්වයෙන් මංගල භෝජන සංග්රහ චාරිත්රයද පැවැත්වීමෙන් අනතුරුව සංවත්සර දින සැමරුම් වැඩසටහන නිමාවට පත්විය.



