නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු සහ විකිණිම සඳහා සඟවා තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට පත් විය.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 13 වන දින ලංකාපටුන සහ කල්අඩි ප්රදේශයන්හිදී නීති විරෝධී ධීවර දැල් දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ තහනම් දැල් දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණි.
පසුගිය අගෝස්තු 14 දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නයාරු මුහුදු ප්රදේශයට ඔබ්බෙන් වූ නාවික සැතපුම් 2.5 දුරකදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 80 ක්, ඩිංගි යාත්රා 08 ක්, තහනම් දැල් 07 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මසුන් තොගය, තහනම් දැල්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
එමෙන්ම, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් පසුගිය අගෝස්තු 15 දින මඩකළපුව, කළපු ප්රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 08 ක් සොයා ගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, පසුගිය අගෝස්තු 17 වන දින උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී කිරංචි මුහුදු වෙරළ ප්රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 1.644 ක ප්රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම කේරළ ගංජා තොගය විකිණීම සඳහා මෙලෙස සඟවා ඇති බවට සැක පළ කරන අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා නච්චිකුඩා, පොලීසිය වෙත භාර දෙන ලදී.






