ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සිව් දින පුහුණු අභ්‍යාසයක් සඳහා අද (අගෝස්තු 24) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වීමෙන් අනතුරුව, එහි අණදෙන නිලධාරි කපිතාන් ඩෙනිස් ජැකෝ ඇතුළු නිලධාරින් පිරිසක් නැගෙනහිර නාවික මුලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා හමුවූ අතර, එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
අනතුරුව, ඉදිරි දිනයන්හීදී සිදු කිරීමට නියමිත පුහුණු අභ්‍යාසයන් පිළිබඳව ‘ඇන්කරේඡ්’ නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු නිළධාරීන් සහ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරී පිරිසකගේ සහභාගීත්වයෙන් නැගෙනහිර නාවික විධාන මුලස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී සාකච්ඡාවක් පවත්වන ලදී.
සිව් දින පුහුණු සංචාරයක් සඳහා පැමිණි ‘ඇන්කරේජ්’ නෞකාව, ශ්‍රි ලංකා නාවික මැරින් බළකාය සමඟ පුහුණු අභ්‍යාසයන් වල නිරිත විමට නියමිත අතර, දිවයිනේ රැඳි සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.
දිගින් මීටර් 208.5 ක් සහ පළලින් මීටර් 32 කින් යුත් ‘ඇන්කරේජ්’ නෞකාව ටොන් 25000 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 600 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන අගෝස්තු 28 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.









