ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම හදුන්වාදිය හැකි අතර, ඒ අනුව, ඊයේ (අගෝස්තු 24) වයඹ පලාතේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වනපරිදි ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් පොල්පිතිගමදී, අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ප්‍රජා අයිතියට පත් කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහ වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජීව පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.
ඒ අනුව, පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් බළ ප්‍රදේශයේ, බෝගොල්ල, හංගමුව, තුඹුකුලාව, තලදාපිටිය, මකුල්පොත, දොරවේරුව, වෙලංගොල්ල යන ගම්මානද, ඇහැටුවැව ප්‍රාදේශිය ලේකම් බළ ප්‍රදේශයේ මහඇඹෝගම, නිතලව, කඳුරුවැව, වෙහෙරගොඩ යාය, ඉහළදිගන යන ගම්මාන සහ ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් බළ ප්‍රදේශයේ කිරිබමුණ ගම්මානයද මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාබ ලබයි.
වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙකු වන නාවික හමුදාව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකාය හා එක්ව දිවයිනේ වකුගඩු රෝගය බහුලව ව්‍යාප්තව පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.




