නාවික තාක්‍ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 21 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයින් හතලිස් පස් දෙනෙකු (45) විසිරයාම අද (2024 දෙසැම්බර් 20) වැලිසර පිහිටි නාවික තාක්‍ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී සිදු කෙරිණි. නාවික තාක්‍ෂණික ආයතනයේ වැඩ බලන පුහුණු අධ්‍යක්‍ෂ කොමාණ්ඩර් (ඉංජිනේරු) ආර්එස් ද සොයිසා ගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී සහභාගී විය.

වැලිසර නාවික තාක්‍ෂණික ආයතනයෙන් වසර හතරක (04) කාලසීමාවක් තුළ නාවික තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමාව (National Diploma in Technology - NDT) සඳහා සුදුසුකම් ලැබූ ශිල්පීය අංශයේ නාවිකයින් හතලිස් පස් දෙනෙකු (45) මෙලෙස විසිර ගිය අතර, පුහුණු කාලසීමාව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික තාක්‍ෂණික ආයතනයේ 21 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයින් ගෙන් නාවික ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය එන්ජින් කාමර ශිල්පී ශ්‍රේණි I ඩබ්ජීආර්පී රත්නායක විසින්ද, විදුලි ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය විදුලි ශිල්පී ශ්‍රේණි I කේඒඑච්අයිඩී ප්‍රනාන්දු විසින්ද, විද්‍යුත් හා සන්නිවේදන ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය ගුවන් විදුලි ශිල්පී ශ්‍රේණි I කේඩී සැම්සන් විසින්ද, නැව්බඳ ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය නැව්බඳ ශිල්පි ශ්‍රේණි I ‍ජීඑම්එච් ලක්ෂාන් විසින්ද, මෝටර් රථ ඉංජිනේරු අං‍ශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය මෝටර් රථ ශිල්පි ශ්‍රේණි I ආර්එම්සීඩීඩී රත්නායක විසින්ද, දක්ෂතම ඉලක්කකරු වෙත පිරිනමන කුසලානය විදුලි ශිල්පි ශ්‍රේණි I ඩබ්එම්ආර්කේඑල් වීරසිංහ විසින්ද, දක්ෂතම ක්‍රීඩකයාට පිරිනමන කුසලානය විදුලි ශිල්පී ශ්‍රේණි I ආර්එම්ඩීඑස් රත්නායක විසින් සහ 21 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයින් හතලිස් පස් දෙනෙකු අතරින් දක්ෂතම ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය විදුලි ශිල්පී ශ්‍රේණි I කේඒඑච්අයිඩී ප්‍රනාන්දු විසින් එහිදී ප්‍රධාන ආරාධිතයා වෙතින් හිමිකර ගන්නා ලදී.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී, දීර්ඝ පුහුණුවකින් අනතුරුව විසිර යන ලද නාවික තාක්‍ෂණික ආයතනයේ 21 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයින් වෙත සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, පුහුණුව තුළදී ලබාගත් තාක්‍ෂණික දැනුම ඉදිරියට තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන කාර්යයභාරය වෙනුවෙන් කැප වෙමින්, මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීමට දායකවන ලෙස අවධාරණය කෙරිණි. එමෙන්ම, පුහුණුව සාර්ථකව අවසන් කිරීම සඳහා විසිර යන ලද ශිල්පීය නාවිකයින් දිරිමත් කළ දෙමව්පියන් වෙත සහ එම නාවිකයින් පුහුණු කිරීම සඳහා කැපවූ පුහුණු කාර්යය මණ්ඩලය වෙත සිය කෘතවේදිත්වය පලකිරීමටද එහිදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී විසින් කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම විසිරයාමේ උත්සවයට සමඟාමීව විසිර යන ලද ශිල්පීය නාවිකයින් සිය පුහුණු කාලය තුළ සිදුකළ නව නිපැයුම් ප්‍රදර්ශනයක් ද පැවැත්වූණු අතර, එය නිරීක්‍ෂණය සඳහාද නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී සහභාගී විය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් වූ මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා, අධ්‍යක්‍ෂ සාගරික ඉංජිනේරු රියර් අද්මිරාල් හසන්ත දසනායක ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ, බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් මෙන්ම විසිර යන ලද ශිල්පීය නාවිකයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.