නාවික හමුදා දායකත්වයෙන් අනුරාධපුර රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 දෙසැම්බර් මස 20 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් අධියරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ක්‍රියාවට නැංවිණි. ඒ අනුව, ඒබී මෞරි ලංකා පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ 1073 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය, 2024 දෙසැම්බර් මස 20 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ රන්පත්විල මහ විදුහලේදී ඒබී මෞරි ලංකා පුද්ගලික සමාගමේ එස් සෙයියද් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

තවද, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපනය මඟින් එම පාසලෙහි සිසුන්ගේ, කාර්ය මණ්ඩ‍ලයෙහි සහ ප්‍රදේශවාසී ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.