ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2024 ‍දෙසැම්බර් මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණියගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, ඒ යටතේ බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගමික වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරිණි. එම ආගමික වැඩසටහන් මාලාවෙහි අවසන් වැඩසටහන ලෙස මෙම වැඩසටහන නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් හා ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ සංවිධායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් වලට අනුකූලව පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රථමයෙන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව, කැළණිය රජමහා විහාරයේ ධාතු මන්දිරයේදී මෙම විශේෂ පූජාව සිදු කෙරිණි. එහිදී වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නය විසින් රට වෙනුවෙන් දිවිපිදු සහ ආබාධිත තත්වයට පත්වූ වීරෝධාර නාවික හමුදා රණවිරුවන්හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත්, සමස්ත නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

මෙම විශේෂ පිංකම සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය රියර් අද්මිරාල් ජානක මාරඹේ ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.