‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2024 දෙසැම්බර් මස 21 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 දෙසැම්බර් 28) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම නිල සංචාරයේදී ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ‘Peace Ark’ රෝහල් නෞකාවේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය දෙපාර්තමේන්තුව හා එක්ව නෞකාව තුලදී වෛද්‍ය ප්‍රථිකාර, වෛද්‍ය සායන සහ දන්ත වෛද්‍ය ප්‍රථිකාර වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ අතර, එහිදී බාහිර ප්‍රථිකාර, අක්ෂි සායන, CT Scan, Echo, Ultra Sound Scan යන පරීක්ෂණ පැවැත්වීම සිදු කෙරුණු අතර, ඒ සඳහා 1,500 කට අධික පුද්ගලයින් පිරිසක් සහ 250 කට අධික ත්‍රිවිධ හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගීවී ප්‍රථිකාර ලබාගැනීම සිදු කෙරිණි.
තවද, ‘Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් නිල හමුවීමක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී නෞකාවේ වැඩසටහන් පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත් වුණු අතර, නාවික හමුදාධිපති සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මහත්මිය රෝහල් නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයකද නිරත විය. එමෙන්ම, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Deng Qiang සහ බටහිර නාවික විධානයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ද සිදු කෙරුණු අතර, දෙරටේ නාවික හමුදාවන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් ද පැවැත්විණි.
‘Peace Ark’ රෝහල් නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලියක් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමද සිදු කෙරිණි.
තවද, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පුහුණු වන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වූණු අතර, එම නෞකාව මඟින් සංවිධානය කෙරුණු ප්‍රථමාධාර පුහුණු වැඩ මුළුවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් වෛද්‍ය කාර්යය මණ්ඩල සහභාගීවී ප්‍රථමාධාර සම්බන්ධ නව දැනුම, යහපත් භාවිතයන් සහ අද්දැකීම් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි. එමෙන්ම, ‘Peace Ark’ රෝහල් නෞකාවේ නිල සංචාරය සනිටුහන් කරමින් නාවික හමුදා රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ලබාදීමද එහිදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති ගරු Qi Zhenhong මහතාද සහභාගී විය.