නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා කිමිදුම් අංශයේ 60 වැනි සංවත්සරය සැමරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ; දිය යට බිඳහෙලීම්, ඉදිකිරීම්, අළුත්වැඩියා කිරීම්, පරීක්ෂා කිරීම් සහ ගොඩගැනීම් සම්බන්ධ කිමිදුම් රාජකාරි සඳහා 1965 වර්ෂයේ ජනවාරි මස 08 වැනි දින ස්ථාපිත නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 60 වැනි සංවත්සරය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අද (2025 ජනවාරි 11) ත්‍රීකුණාමලය නාවික තටාකංගණයේ, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේදී පැවැත්විණි.
1965 වර්ෂයේ ජනවාරි මස 08 වැනි දින ලුතිනන් කොමාණ්ඩර් ටී සෝමසුන්දරම්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම කිමිදුම් අංශභාර නිලධාරි (ODU- Officer in Charge Diving Unit) ලෙස පත්වීමෙන් ආරම්භ වුණු නාවික හමුදා කිමිදුම් සහ ගලවාගැනීමේ ඒකකය, වර්ථමානය වන විට ජාතික සමුද්‍රීය ආරක්ෂක අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යයභාරය සිදු කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් හැකියාවන්ගෙන්, තාක්ෂණයෙන් සහ පිරිස් බලයෙන් ක්‍රමිකව වර්ධනය වී ඇති අතර, මේ වන විට නිලධාරීන් 38 ක් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 274 ක ගෙන් සමන්විතව ප්‍රධාන නෞකා හා විධානයන්ට අනුයුක්තව කිමිදුම් මෙහෙයුම් සිදුකරනු ලබයි.
එහිදී, නාවික හමුදා කිමිදුම් අංශයේ විකාශනය සහ ඒ සඳහා හිටපු නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන් සහ නාවිකයන් සිදුකළ දායකත්වය අගයමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික) විසින් අදහස් දැක්වීම සිදු කෙරිණි.
නාවික හමුදා නෞකා බළඇණියේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නෞකා පතුල පරීක්ෂා කිරීම් ඇතුළු දිය යට අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු වෙනුවෙන් ලබා දෙනු ලබන නාවික හමුදා කිමිදුම් අංශයේ විශේෂඥ කිමිදුම් සහය, නෞකා බළඇණියේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා විශාල දායකත්වයක් ගෙනදෙනු ලබයි. කිමිදුම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය වශයෙන් විශේෂඥ පුහුණුවක් ලබා දෙමින්, වෘත්තීය නිපුණ පිරිස් බලයක් කිමිදුම් අංශය තුළ පවත්වාගෙන යෑම සඳහා නාවික හමුදාව විසින් කටයුතු කරනු ලබන අතර, 2022 වර්ෂයේ නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නිලධාරීන් දෙදෙනෙක් සහ එක් කාන්තා නාවිකයෙක් මූලික කිමිදුම් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කිරීම, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ විකාශනය තුළ විශේෂ අවස්ථාවක් ලෙස සනිටුහන් වේ.
එමෙන්ම, මුහුදු ප්‍රදේශ හා වරාය නිෂ්කාශන මෙහෙයුම්, නෞකා හා යාත්‍රා ගොඩ ගැනීම, නිෂ්කාශනය කිරීම හා ආපදාවට පත් නාවික හා ධීවර ප්‍රජාව වෙත කිමිදුම් සහාය ලබාදීම, දිය යට සමීක්ෂණ හා උපකරණ සෙවීම, දිය යට ඉදිකිරීම්, වරාය ආරක්ෂාව සඳහා දිය යට ආරක්ෂක පද්ධති ස්ථාපනය හා නඩත්තුව, නාවික සහ නාවික නොවන කාර්යයන් සඳහා අවශ්‍ය දිය යට ඡායාරූපකරණය සහ වීඩියෝ රූගත කිරීම්, දිය යට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම හා බිඳහෙලීම් සිදුකිරීම, මුහුදේ දී ජීවිත ගලවා ගැනීම වැනි නාවික හමුදා කිමිදුම් අංශයේ සාම්ප්‍රදායික කාර්යයභාරයට අමතරව, දිවයිනේ සමුද්‍රීය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම සඳහාද නාවික හමුදා කිමිදුම් අංශය යෙදවීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.
ඒ අනුව, විශේෂයෙන් ත්‍රීකුණාමලය, ගාල්ල සහ නිල්වැල්ල මුහුදු තීරය ආශ්‍රිතව දියයට කෞතුකාගාර ඉදිකිරීම, ත්‍රීකුණාමලය නාවික තටාකංගණය තුළ කිමිදුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා කිමිදුම් කරුවන් සඳහා අවශ්‍ය ප්‍රථිකාර සිදුකිරීම, ඓතිහාසික වැදගත්කමක් ඇති නෞකා සහ සමුද්‍රීය අවශේෂ තුළ සහ දිවයිනේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව කිමිදුම් අභ්‍යාස සිදුකිරීම යන ක්‍රියාකාරකම් තුළින් නාවික හමුදා කිමිදුම් අංශයේ ශිල්පීය දැනුම හා හැකියාවන් වර්ධනය වීම පමණක් නොව, කිමිදුම් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහාද විශාල දායකත්වයක් ගෙන දෙනු ලබයි.
තවද, නාවික හමුදා කිමිදුම් හා ගලවාගැනීමේ ඒකකයේ 60 වැනි සංවත්සරයට සමඟාමීව, කිමිදුම් ඒකකය තුළ ඉදිකළ ලුතිනන් කොමාණ්ඩර් ටී සෝමසුන්දරම් අනුස්මරණ ශ්රවනාගරය විවෘත කිරීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරුණු අතර, එම අවස්ථා සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික), අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා (විශ්‍රාමික) ඇතුළු නාවික හමුදා කිමිදුම් අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝශප් ඇතුළු නාවික හමුදා මූලස්ථානය, නැගෙනහිර නාවික විධානය හා කිමිදුම් අංශය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.