ගොන්ගල කඳු තරණ අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නාවික හමුදා පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ගේ සංකල්පයකට අනුව, නාවික හමුදා විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු සබරගමුව පළාතේ ගොන්ගල කඳු තරණ අභ්‍යාසය 2025 ජනවාරි මස 11 වැනි දින සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක සහ බටහිර සහ දකුණු නාවික විධානයේ නිලධාරීන් 50 දෙනෙකු ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණු මෙම කඳු තරණ අභ්‍යාසයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 17 ක් විය. ගොන්ගල කඳු මුදුනේ දර්ශනීය සුන්දරත්වය ගවේෂණය කිරීම සඳහා මාර්ග 06ක් ඔස්සේ සහ රක්ෂිත වනාන්තරය ඔස්සේ කිලෝමීටර් 2.5 ක් තරණය කරමින් ගොන්ගල කඳු තරණ අභ්‍යාසය මෙලෙස සාර්ථකව නිමාවට පත්විය.

තවද, සහජීවනය වර්ධනය කිරීම, මානසික හා ශාරීරික සෞඛ්‍ය සහ සතුට තුළින් රාජකාරී සහ පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගැනීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු මෙම අභ්‍යාසයෙන් අනතුරුව, ගොන්ගල කඳුවැටියේ ස්ථාපිත ක්‍ෂුද්‍ර තරංග මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අභ්‍යාසය සඳහා සහභාගී වූ නිලධාරීන් දැනුවත් කිරීමද සිදුකෙරිණි.