නාවික හමුදාධිපති ජය ශ්‍රී මහ බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු, 2025 ජනවාරි මස 12 වැනි දින අනුරාධපුර අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගත් අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියද සහභාගී විය.
ඒ අනුව, නාවික හමුදාධිපති පළමුව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකර බැති සිතින් වන්දනාමාන කිරීමෙන් අනතුරුව, අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රපති පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැක, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී. අනතුරුව, රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත ඊතලවැටුනුවැවේ ඥාණතිලක මහා නායක ස්වාමීන් වහන්සේ බැහැදැක නමස්කාර පූර්වකව පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගන්නා ලදී.
රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට දායක වෙමින්, දේශය ගොඩනැඟීම සහ මතු පරපුර උදෙසා ආගමික සිද්ධස්ථාන රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරනු ලබන සුවිශාල කාර්යභාරය ඇගයීමට ලක් කළ අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදාවේ එම කාර්යභාරය ඉදිරියටත් අඛණ්ඩව සිදුකිරීම සඳහා දායකත්වය ලබා දෙන මෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත අනුශාසනා කර, ඒ සඳහා ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ආශිර්වාදය සහ තෙරුවන්ගේ පිහිට හා ආරක්‍ෂාව නාවික හමුදාධිපති ඇතුළු සියළුම නාවික හමුදා පුද්ගලයන් වෙත නිරතුරුව ලැබේවායි සෙත් ප්‍රාර්ථනා කරන ලදී.
තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටින ලදී.