ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකියෝ ඉසොමාටා (Akio Isomata) මහතා ඇතුළු දූත පිරිසක් 2025 ජනවාරි මස 20 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින්, එම විධානයේ වැඩ බලන ආඥාපති රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා හමුවිය.

එම හමුවේදී, නැගෙනහිර පළාතේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් ජපන් රජයේ දායකත්වය සහ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කම ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ නැගෙනහිර නාවික විධානයේ වැඩ බලන ආඥාපති සහ ජපාන තානාපති අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.

මෙම සංචාරයේදී ජපාන තානාපතිවරයා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානය මඟින් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ සහයෝගයෙන් සිදුකරණු ලබන පුහුණු වැඩසටහන් පිළිබඳව සහ පුහුණු සමාකෘතිය ඇතුළු යටිතල පහසුකම් නිරීක්‍ෂණය කිරීම සහ එම පහසුකම් තවදුරටත් සංවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

තවද, Ship-in-a-Box සමාකෘතිය මඟින් සිදුකරණු ලබන ප්‍රදර්ශනාත්මක පුහුණු අභ්‍යාසයක් නිරීක්‍ෂණය කිරීමද ජපාන තානාපතිවරයා විසින් එහිදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ජපන් දූත පිරිස සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී සිටියහ.