නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 34 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ අද (2025 ජනවාරි 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වැනි උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ, ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1990 වසරේදී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 08 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් චින්තක රාජපක්ෂ, සිය වසර 34 කට අධික සේවා කාලය තුළ වැඩ බලන විධාන ඉංජිනේරු දෙපාර්තමේන්තුව (උතුරු මැද), වැඩ බලන නියෝජ්‍ය අධිකාරී තටාකාංගනය (බටහිර) සහ වැඩ බලන පරීක්ෂක නව නිපැයුම්, විධාන මෝටර් රථ ඉංජිනේරු නිලධාරී (බටහිර), වැඩ බලන නියෝජ්‍ය අධ්යක්ෂ ක්‍රීඩා, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩළික විද්‍යාලයේ උපදේශක, නියෝජ්‍ය අධිකාරී තටාකාංගනය (නැගෙනහිර), නියෝජ්‍ය අධ්යක්ෂ ඉංජිනේරු සේවා, නියෝජ්‍ය අධ්යක්ෂ සාගරික ඉංජිනේරු (වේග ප්‍රහාරක යාත්‍රා හා වෙරළබඩ මුර යාත්‍රා), දකුණු, උතුරු, නැගෙනහිර හා බටහිර නාවික විධානයන්ගේ කොමදෝරු අධිකාරී තටාකාංගනය ලෙස, අධ්යක්ෂ ඉංජිනේරු සේවා, අධ්යක්ෂ සාගරික ඉංජිනේරු සහ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යන ප්රමුඛ නිල තල දරමින් කටයුතු කර ඇති නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.