‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීමට විජයභාහු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගීවීම‍ට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු නෞකාව අද (2025 ජනවාරි 30) කොළඹ වරායෙන් පාකිස්ථානයේ කරච්චි බලා පිටත් වූ අතර, ශ්‍රී ලංකා නා‍වික නෞකා විජයභාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායෙන් පිටත් වීම සිදුකෙරිණි.

කළාපීය සහයෝගිතාවය, ස්ථාවරත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ9 මුහුදු මංකොල්ලකෑම් ඇතුළු සමුද්‍රීය ත්‍රස්තවාදය සහ අපරාධ සඳහා සාමූහිකව ප්‍රථිචාර දැක්වීමේ අරමුණින් ‘අමාන්’ බහුපාර්ශවික අභ්‍යාසය පාකිස්ථානු නාවික හමුදාව විසින් 2007 වර්ෂයේදී ආරම්භකර ඇත. ඒ අනුව, 2025 පෙබරවාරි මස 07 වැනි දින සිට 11 වැනි දින දක්වා පාකිස්ථානයේ කරච්චිහිදී පැවැත්වීමට නියමිත නවවැනි අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නාවික නෞකා විජයභාහු ‍නෞකාව අද (2025 ජනවාරි 30) මෙලෙස දිවයිනෙන් පිටත් විය.

මෙම අභ්‍යාසය සඳහා සහභාගීවීම මඟින් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවත්නා දිගුකාලීන මිත්‍රශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත්ව වර්ධන වීමෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු කටයුතු, විශේෂඥ තාක්‍ෂණික සහය ඇතළු නාවික හමුදාවේ හැකියාවන් වර්ධනය සඳහා නාවික හමුදාවට මහඟු පිටිවහලක් ගෙන දෙනු ඇත.

එමෙන්ම, කළාපීය හා කළාපීය නොවන නාවික හමුදා සහ සමුද්‍රීය පාර්ශවයන් ගණනාවක් සහභාගීවන මෙවැනි බහුපාර්ශවික අභ්‍යාස සඳහා සහභාගී වීම මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට කළාපීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, කුසලතා ක්‍රමෝපායයන් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනාගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසදුම් සෙවීම හා ප්‍රථිචාර දැක්වීමට හැකිවීම වැනි ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇත.