නාවික හමුදාව ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකය සඳහා ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම, අද (2025 පෙබරවාරි 01) සිදුකෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද තිස් එක්වන (31) වෛද්‍ය ශ්‍රේණි‍යේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය, ආණමඩුව මූලික රෝහලෙහි රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම මඟින්, එම ඒකකයේ ප්‍රථිකාර ලබන වකුගඩු රෝගීන් දස දෙනෙකු (10) වෙත එකවර රුධිර කාන්දුකරණය කලහැකි අතර, එහි ධාරීතාවය රෝගීන් විසි දෙනෙකු (20) සඳහා ප්‍රතිකාර ලබාදිය හැකි පරිදි පුළුල් කිරීමේ හැකියාවද පවතී.

තවද, ආණමඩුව මූලික රෝහලේ ස්ථාපනය කළ වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රය එම රෝහල වෙත භාරදීමේ අවස්ථාව සඳහා, මෙම සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දායක වූ සියළු පාර්ශවකරුවන් සහභාගීවී සිටියහ.