පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත් වෙයි
2025 පෙබරවාරි මස 01 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ යුද නෞකාව එම නිල සංචාරය අවසන් කරමින් අද (2025 පෙබරවාරි 04) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
නෞකාව දිවයිනේ රැදීසිටි කාලසීමාව තුල එහි අණදෙන නිලධාරී කපිතාන් MUHAMMAD AZHAR AKRAM සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එහි නැව්මුළුව කොළඹ ප්රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද එක්විය.
තවද, නෞකාවේ මෙහෙයුම් ක්රියාකාරිත්වය පිළිබඳව ශ්රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එම නෞකාව තුළදී පැවැත්විණි.