ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මැතිතුමන් 2025 පෙබරවාරි මස 10 වැනි දින නාවික හමුදා මූලස්ථානයට සිය ප්‍රථම නිළ සංචාරය සිදු කෙරිණි. ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා වෙත උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් එතුමන්ව නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගන්නා ලදි.

අනතුරුව, නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හදුන්වා දීම සිදු කරන ලදි. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් නාවික හමුදා මුලස්ථානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වු ප්‍රථම නිළ අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති තුමන් විසින් සමරු තිළිණ ප්‍රධානය නාවික හමුදාධිපති කාර්යාලයේ පැවති කෙටි පිළිසඳරෙන් පසුව සිදු විය.

පසුව නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් විසින් නාවික හමුදාවේ සංවිධාන ව්‍යුහය, වර්ථමාන කාර්යභාරයන්, නාවික රාජ්‍යතන්ත්‍රික සම්බන්ධතා අවකාශයන්, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ නව නිපැයුම් මෙන්ම නාවික හමුදාවේ ඉදිරි සැළැස්ම සම්බන්ධව විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කෙරිණි. එම අවස්ථාවේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් ශ්‍රී ලංකා නාවික හමුදා කළමණාකරන හා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ආමන්ත්‍රනය කර අදහස් දැක්වීමක් සිදු විය. මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය බලධාරීන් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධවිය.

අනතුරුව, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික පුද්ගලයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා අදහස් දැක්වීම සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, ශ්‍රී ලංකා නාවික හමුදාව පුළුල් සාගරික වපසරියක මෙහෙයුම් සිදුකරමින් ස්ථාවර සාගර කලාපයක් තුලින් ජාතික ආරක්‍ෂාවටත් ජනජීවිතය සුරක්‍ෂිත කිරීමටත් සිදුකරණු ලබන කාර්යභාරය පැසසීමට ලක්කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන්, දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට පැවරෙන බවත්, දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව වෙත පැවරෙන ජාත්‍යන්තර බැඳීම ඉටුකර, ස්ථාවර සාගර කලාපයක් පවත්වාගෙන යාමේ ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ශාත් කර ගැනීම සඳහා සහ කාලීන සමුද්‍රීය අභියෝග සඳහා සාර්ථකව ප්‍රථිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සූදානම හා කාර්යක්‍ෂමතාවය උපරිම මට්ටමෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරනය කරන ලදි.

එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, නාවික හමුදාව පුද්ගල හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් යුතු හමුදාවක් බවත්, සාගර කලපය ඔස්සේ සිදු කෙරෙණ සියලු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් සිදුකරමින් ස්ථාවර සාගර කලාපයක් පවත්වා ගැනීම වෙනුවෙන් සිදුකරණු ලබන කාර්යභාරය පැසසීමට ලක් කරන බවත් පවසන ලදි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ප්‍රථිපත්තිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය පැසසීමට ලක් කෙරුණු අතර, නාවික හමුදාව පුද්ගල හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් යුතු හමුදාවක් බවත්, රටේ සංවර්ධනය වෙනුවෙන් සහ ජාතික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමේ මහත්වු කාර්යයභාරයක් පැවරී ඇති බවට එහිදී තවදුරටත් අවධාරණය කරන ලදි.

ජාත්‍යන්තරව ඇගයිමට ප්‍රාප්තවු නාවික හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් යුතුව, නිලධාරීන් සහ නාවිකයින් නව දැනුමෙන් සහ කුසලතාවන්ගෙන් පරිපූර්ණ වෙමින් වෘත්තීය භාවය වර්ධනය කර ගැනීම අවශ්‍ය බවත්, ඒ සඳහා අධිෂ්ඨානශිලීව කැපවිය යුතු බවද ප්‍රකාශකර සිටින ලදි.

මෙම අදහස් දැක්වීම් අවසානයේ නාවික පුද්ගලයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මින් සමඟ සුහද පිළිසඳරක ද නිරතවීමට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් කටයුතු කෙරිණි.