රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අධ්‍යයන සංචාරයක් සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණෙයි

2025 පෙබරවාරි මස 09 වැනි දින සිට 15 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් පහලොස් දෙනෙක් (15) සහ අධ්‍යයන කාර්යය මණ්ඩලයේ නිලධාරීන් සිව්‍ දෙනෙකුගෙන් (04) සමන්විත, කර්නල් LAUSANNE NSENGIMANA INGABIRE ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් අද (2025 පෙබරවාරි 11) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී කර්නල් LAUSANNE NSENGIMANA INGABIRE ඇතුළු ජේය්ෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමු වූහ

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම විසින් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධීපති විසින් සිදු කල දේශනයක් සඳහාද රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නිලධාරීන් පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.