“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදාව දායක වෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් 1000ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස තෝරාගත් පාසල් 200ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන ආනන්ද විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අද (2025 පෙබරවාරි 20) එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී විය.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යාථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරක සහ අධ්‍යාත්මික වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

ඒ අනුව, සතුට සපිරි පාසලක් තේමාව යටතේ අද (2025 පෙබරවාරි 20) ආරම්භ කෙරුණු පාසල් 200ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, කොටහේන ආනන්ද විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා මෙලෙස නාවික හමුදාධිපති සහභාගී විය.

මෙම වැඩසටහන යටතේ; එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලේ තීන්ත ආලේප කිරීම, ප්‍රාථමික අංශයේ පන්ති කාමරවල විදුලි සබඳතා අළුත්වැඩියා කිරීම, ක්‍රීඩා පිටියේ ප්‍රේක්‍ෂකාගාරය අළුත්වැඩියා කිරීම සහ පාසලට පිවිසුම් මාවතේ තාප්පයෙහි තීන්ත ආලේප කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත.

තවද, මෙම සමාරම්භක අවස්ථාව සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ මෙහෙයුම් නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.