මැදවච්චිය අඟුනොච්චිය විද්‍යාලය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහනට අනුව නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය අඟුනොච්චිය විද්‍යාලය පිරිසිදු කිරීම 2025 පෙබරවාරි මස 24 වැනි දින සිදු කෙරිණි.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යාථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් 1000ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමඟාමීව, එහි පළමු අධියර යටතේ දිවයිනේ තෝරාගත් පාසැල් පරිශ්‍ර 200ක් පිරිසිදු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණයෙන් ත්‍රිවිධ හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරේ.

ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් මත පාසැල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම යටතේ අඟුනොච්චිය විද්‍යාල පරිශ්‍රය මෙලෙස පිරිසිදු කර ශ්‍රී ලාංකීය දූදරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස සඳහා වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම, උතුරු මැද නාවික විධානයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරිණි.