බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය වෙතින් සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය වෙතින් නාවික හමුදාධිපති වෙත උපහාර දක්වයි
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම වෙනුවෙන්, උපහාර දැක්වීමක් 2025 පෙබරවාරි මස 25 වැනි දින එම විද්‍යාල පරිශ්‍රයන්හිදී සිදු කෙරිණි. එම විද්‍යාලයන්ගේ ආදි සිසුන්, ගුරු බවතුන් සහ සිසු දරු දැරියන් විසින් සංවිධානය කෙරුණු එම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, අනූෂා බානගොඩ මැතිණියද එක් විය.
ප්‍රථමයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය වෙත පිවිසි නාවික හමුදාධිපති, එම විද්‍යාලීය විදුහල්පති පාලිත නවරත්න මහතා ඇතුළු ගුරු මණ්ඩලය, ආදි සිසුන් සහ සිසු දරුවන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩය විසින් නාවික හමුදාධිපති වෙත උත්තමාචාර පිරිණැමීම සිදු කෙරිණි. නාවික හමුදාධිපති වෙත දේවාශිර්වාද ප්‍රාර්ථනාවක් සිදු කිරීමෙන් අනතුරුව, විද්‍යාලීයය කෙබ්ල් අනුස්මරණ ශාලාවේදී නාවික හමුදාධිපති විසින් විද්‍යාලයේ සිසු දරුවන් ඇමතීම සිදු කෙරිණි. එහිදී නාවික හමුදාධිපති විද්‍යාලය වෙත පිළිගැනීම සඳහා විද්‍යාලයේ නර්ථන කණ්ඩායම් විසින් විචිත්‍රවත් නර්ථනාංගයන් ඉදිරිපත් කරමින් දායක වූහ.
ඉන් අනතුරුව, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට පිවිසි නාවික හමුදාධිපති, එම විද්‍යාලීය විදුහල්පති විශාකා රාජපක්‍ෂ මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය, ආදි සිසු සිසුවියන් සහ සිසු දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව විද්‍යාලීය රණවිරු ස්මාරකය වෙත නාවික හමුදාධිපති විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි. ජාතික ශිෂ්‍යභට බලකායේ 06 වැනි බළඇණියට අයත් විද්‍යාලීයය ශිෂ්‍යභට ඛණ්ඩය විසින් නාවික හමුදාධිපති වෙත උත්තමාචාර පිරිණැමීමෙන් අනතුරුව, විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී නාවික හමුදාධිපති විසින් විද්‍යාලයේ සිසු දරුදැරියන් ඇමතීම සිදු කෙරිණි. එහිදී නාවික හමුදාධිපති විද්‍යාලය වෙත පිළිගැනීම සඳහා විද්‍යාලයේ නර්ථන කණ්ඩායම්, බාලක බාලිකා බටහිර තූර්යය වාදක කණ්ඩායම් විසින් විචිත්‍රවත් අංගයන් ඉදිරිපත් කරමින් දායක වූහ.
තවද, මෙම අවස්ථාවන් හිදී සිසු දරුදැරියන්, සම්භාවනීය ආරාධිතයන් සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම වෙනුවෙන් උපහාර දැක්වීම සඳහා ඉතාමත් අභිමානවත් උපහාර දැක්වීමේ උළෙලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය පලකර සිටින බව පවසන ලදී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ඩිජිටල් යුගයක අධ්‍යාපනය හදාරන දූ දරුවන් වෙත ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වටිණා උපදෙස් ලබාදී, ජාතික ආරක්‍ෂාවේ පුළුල් අර්ථය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සෑම කෙනෙකුගේම සහභාගීත්වය අවශ්‍ය බව අවධාරණය කෙරිණි. එමෙන්ම විෂය හා විෂය භාහිර ක්‍රියාකාරකම් සමබරව සිදු කරමින් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගැනීමේ වැදගත්කමත් ඒ තුළින් ඉදිරියේදී රටට ලැබෙන ප්‍රථිලාභ පිළිබඳවත් එහිදී නාවික හමුදාධිපති විසින් දූ දරුවන් වෙත අවධාරණය කළේය.
මෙම උත්සව අවස්ථා සඳහා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් හා බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල මඟින් බිහිකල හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.