වැදගත් සිදුවීම්

ආබාධිත නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකුගේ දරුවන් වෙත නාවික හමුදා සුභසාධක අංශය වෙතින් Laptop පරිගණක යන්ත්‍ර දෙකක් පිරිනමයි

වයිස් අද්මිරාල් එස්එම්බී වීරසේකර (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අංශය වෙත පරිත්‍යාග කරන ලද Laptop වර්ගයේ පරිගණක දෙකක් (02), ක්‍රියාන්විත රාජකාරීයේදී ආබාධිත වී සිටින නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකුගේ දරුවන් වෙත පිරිනැමිම, අද දින (2024 ඔක්තෝබර් 03) අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී සිදුකෙරිණි.

03 Oct 2024

නාවික හමුදාධිපති ආරක්‍ෂක අමාත්‍යංශයේ අභිනව ලේකම්වරයා හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද දින (2024 ඔක්තෝබර් 02) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී, ආරක්‍ෂක අමාත්‍යංශයේ අභිනව ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ නිළ හමුවක් සිදු කෙරිණි.

02 Oct 2024

ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ 154 වන කාර්යසාධක බලකායේ අණදෙන නිලධාරී නිළ හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

බහරේනයේ ස්ථාපිත ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන, ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combined Maritime Force - CMF) යටතේ ක්‍රියාත්මක 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ වත්මන් අණදෙන නිලධාරී, කොමදෝරු Haytham Elsayed Khalil ඇතුළු නිලධාරීන් පිරිසක් අද දින (2024 ඔක්තෝබර් 02) නිළ හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, 2025 වර්ෂයේ ජනවාරි මස සිට මෙම 154 වන ඒකාබද්ධ කාර්යසාධක බලකායේ අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගැනීමට නියමිතව ඇත.

02 Oct 2024

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 255 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 271 ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 255 වන බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසීය එකොලොස් දෙනෙකු (211) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් හැට දෙනෙකු (60) ඇතුළු ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ එක් දෙනෙකු (271) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2024 සැප්තැම්බර් මස 28 වන දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදුකෙරිණි.

29 Sep 2024

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්

2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන්, නාවික විධානයන් ආවරණය වන පරිදි, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2024 සැප්තැම්බර් මස 28 වන දින උදෑසන ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

29 Sep 2024

රාජකීය ලංකා නාවික හමුදාව පැවති වකවානුවේ ත්‍රීකුණාමලයේ සේවය කල බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා නිලධාරියෙකුගේ භෂ්මාවශේෂ නාවික හමුදා ගෞරව සහිතව ත්‍රීකුණාමලය මුහුදේ විසුරුවා හරී

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු කළ, 1999 වර්ෂයේදී අභාවප්‍රාප්ත වී ඇති ලුතිනන් Norman Schofield නිලධාරියාගේ සහ ඔහුගේ බිරිඳ Marian Schofield ගේ භෂ්මාවශේෂ, නිලධාරියාගේ අවසන් කැමැත්ත පරිදි නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව හා ගෞරව සහිතව ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ Ostenburg තුඩුව අසල මුහුදේ විසුරුවා හැරීම, 2024 සැප්තැම්බර් මස 27 වන දින උදෑසන එම නිලධාරියාගේ පවුලේ ඥාතීන් ගේ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

28 Sep 2024

නාවික හමුදාව වෙත ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් හා ශිෂ්‍යභට නිලධාරීන් 76 ක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී පත්වීම් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් 67 වන ශිෂ්‍යභට බඳවා ගැනීමේ නිලධාරීන් පනස් එක් දෙනෙකු (51), ඉඳුරාම බඳවාගත් නිලධාරීන් දහ අට දෙනෙකු (18) සහ විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් ශිෂ්‍යභට නිලධාරීන් හත් දෙනෙකු (07) ඇතුළු හැත්තෑ හය දෙනෙකු (76) වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම, අද දින (2024 සැප්තැම්බර් 27) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

27 Sep 2024

නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ පුහුණු අභ්‍යාසයක් හම්බන්තොට වරායේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය මඟින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව හදසි අවස්ථාවකදී ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව පුහුණු අභ්‍යාසයක් 2024 සැප්තැම්බර් මස 26 වන දින හම්බන්තොට වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

27 Sep 2024

ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම් වරයාගේ වැඩ භාරගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් 2024 සැප්තැම්බර් මස 23 දින සිට ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පත් කෙරුණු අතර, ඔහුගේ රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

25 Sep 2024

නාවික හමුදාව මඟින් නවීකරණය කරන ලද “නෙඩුන්තාරකයි” මගී ප්‍රවාහන යාත්‍රාව මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

යාපනයේ, ඩෙල්ෆ්ට් දූපත හා කුරිකට්ටුවාන් ජැටිය අතර මගී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදවා ඇති 'නෙඩුන්තාරකයි' නමැති මඟී ප්‍රවාහන යාත්‍රාව, නාවික හමුදාව මඟින් නවීකරණය කිරීමෙන් අනතුරුව, මෙහෙයුම් කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත භාරදීම 2024 සැප්තැම්බර් මස 19 වන දින ඩෙල්ෆ්ට් දූපතේ ජැටියේදී සිදු කෙරිණි.

20 Sep 2024