රුපියල් මිලියන 1152 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්ර නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, උර දෙකක් තුල (02) පාර්සල් හතලිහක (40) අසුරා තිබූ, රුපියල් මිලියන 1152 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්ෂණ කටයුතු සිදුකරනු ලබන නාවික හමුදාව සාගරය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්ර නෞකාව යොදවා සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය සහිත උර දෙකක් (02) සොයා ගැනීමෙන් පසු, එම බහුදින ධීවර යාත්‍රාව එහි සිටි සැකකරුවන් පස් දෙනෙකු (05) සමඟ 2024 නොවැම්බර් මස 16 වන දින නාවික හමුදා භාරයට ගෙන, වැඩිදුර පරික්ෂාව සඳහා අද (2024 නොවැම්බර් 18 දින) උදෑසන ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි.
නාවික හමුදාව විසින් ධීවර යාත්‍රාවේ සිදු කල වැඩිදුර පරීක්ෂාවේදී, එම ධීවර යාත්‍රාවේ උර දෙකක් තුල (02) පාර්සල් 40 ක අසුරා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත් අතර, එම මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 1152 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 33 ත් අතර වන ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් පස් දෙනා (05) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.
තවද, මත්ද්‍රව්‍ය මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා, විෂ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පිටු දැකීම සඳහා ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත, 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 18,790 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.
තවද, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිලිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතනයන් වෙත ලබාදී, රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීම සඳහා සහය වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කර සිටියි.