නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩී කොළ කිලෝග්රෑම් 864 කට අධික තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්රදේශයේ 2025 ජනවාරි මස 13 වැනි දින රාත්රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්රෑම් අටසිය හැට හතරකට (864) අධික තොගයක් සමඟ ඩිංගි යාත්රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින්, 2025 ජනවාරි මස 13 වැනි දින රාත්රී කාලයේ මීගමුව කලපු ප්රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්රා දෙකක් (02) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්රා තුළ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර විසි නවයක (29) අසුරන ලද බීඩි කොළ කිලෝ අටසිය හැට හතරයි (864) ග්රෑම් හත්සිය පනහක (750) තොගයක් සමඟ එම ඩිංගි යාත්රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, නාවික හමුදා භාරයට ගත් එක් උරයක (01) ඔතන ලද බීඩි සහිත පාර්සලයක්ද තිබූ අතර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රා දෙක (02) මීගමුව කලපුවේ අතහැර දමන්නට ඇතැයි විශ්වාස කෙරේ.
තවද, නාවික හමුදා භාරයට ගත් මෙම බීඩි, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්රා පිළිබඳ ඉදිරි නිතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.