ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයන්ගේ මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් 2025 ජනවාරි මස 15 වැනි දින සහ 19 වැනි දින කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටියි.

ඒ අනුව, පදවිය, බුද්ධන්ගල සහ මහකනදරාව අලුත්පාරගම යන ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් හතලිස් නමයක් (49) සූදානමින් තබා ඇත.