දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 08 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2025 පෙබරවාරි මස 08 වැනි දින මන්නාරමට උතුරින් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, තව දුරටත් නීතී විරෝධී ලෙස දේශීය ජල තීරය තුළ මසුන් ඇල්ලීමේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කර එම ධීවර යාත්‍රා දෙක (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මෙහිදී නාවික හමුදවට නීත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කිරීමට ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) අනුකූලතාවය දක්වා තිබිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දාහතර දෙනා (14) ඉරණතිව් දූපත වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.