අයිස් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ දුම්වැටි සමඟ සැකකරුවන් 02ක් මැදවච්චියේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, දූෂණ විරෝධී ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 08 වැනි දින මැදවච්චිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් තුන්සිය හැත්තෑවක (370) පමණ ප්‍රමාණයක් සහ ව්‍යාජ දුම්වැටි හාරසියයක් (400) ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය වෙත ලද තොරතුරකට අනුව, මැදවච්චිය දූෂණ විරෝධී ඒකකය හා එක්ව 2025 පෙබරවාරි මස 08 වැනි දින මැදවච්චිය, ඉකිරියගොල්ලෑව ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා සතුව අලෙවි කිරීමට සුදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් තුන්සිය හැත්තෑවක (370) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, එදිනම ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය වෙත ලද තොරතුරකට අනුව, සෙට්ටිකුලම් සහ මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා හා එක්ව මැදවච්චිය නගරයේ සිදුකරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙක් පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා සතුව අලෙවි කිරීමට සුදානම් කළ ව්‍යාජ දුම්වැටි හාරසීයක (400) තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 30ක් වන මැදවච්චිය, ඉකිරියගොල්ලෑව හා කරපික්කඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය හා දුම්වැටි තොගය සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.