මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 19 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරෙන් හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, 2025 පෙබරවාරි මස 19 වැනි දින මන්නාරමට උතුරෙන් හා ඩෙල්‍ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු සහ උතුරු මැද නාවික විධාන මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදාවේ හා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, තව දුරටත් නීතී විරෝධී ලෙස දේශීය ජල තීරය තුළ මසුන් ඇල්ලීමේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කර එම ධීවර යාත්‍රා තුන (03) සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු (10) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මෙහිදී නාවික හමුදවට නීත්‍යානුකූලව ඉන්දීය ධීවර යාත්‍රා වෙත ගොඩවී පරීක්‍ෂා කිරීම සඳහා ඉන්දීය ධීවර යාත්‍රා තුන (03) අනුකූලතාවය දක්වා තිබිණි.
තවද, මෙම මෙහෙයුමේදී උතුරු මැද නාවික විධානය මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව (01) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා (04) තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර ඉදිරි තීනිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත. උතුරු නාවික විධානය මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් හය දෙනා (06) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.
මෙම මෙහෙයුමත් සමඟ 2025 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින්, දේශීය ජලතීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා දහතුනක් (13) සහ ඉන්දීය ධීවරයින් අනූනව දෙනෙකු (99) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.