නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 17 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කොක්කඩි, නන්දිකඩාල්, මුලතිව්, ආනවාසල, සින්නපාඩු සහ කඩෙයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි 2025 වර්ෂයේ පෙබරවාරි මස 13 සිට 19 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කුඩැල්ලන් හා හක්බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් දහ හත් දෙනෙක් (17), ධීවර යාත්‍රා දොලහක් (12), යතුරු පැදියක් (01) සහ නීති විරෝධී ධීවර දැල් එකසිය පනස් හයක (156) තොගයක්, මුහුදු කූඩැල්ලන් එකසීය අසූහතරක් (184) හා හක්බෙල්ලන් විසි දෙකක් (22) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, 2025 පෙබරවාරි මස 13,14,15 සහ 16 යන දිනයන්හීදී නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් මුලතිව් මුහුදු ප්‍රදේශයේ සහ නන්දිකඩාල් කලපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු සිදුකරමින් සිටි ධීවරයින් හය දෙනෙකු (06), ඩිංගි යාත්‍රා දෙකක් (02), කුඩා යාත්‍රා හයක් (06) සමඟ නීති විරෝධී උගුල් දැල් එකසීය විසි පහක් (125), නීති විරෝධී ට්‍රැමල් දැල් විසි එකක් (21), නීති විරෝධී නයිලෝන් දැල් නවයක් (09) සහ පර්සී දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.
2025 පෙබරවාරි මස 15 වැනි දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය කොක්කඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකර ඇල්ලූ බවට සැක කෙරෙණ මත්ස්‍යයන් තොගයක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, 2025 පෙබරවාරි මස 16 වැනි දින වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් ආනවාසල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු කුඩැල්ලන් සහ හක්බෙල්ලන් අල්ලන ලද ධීවරයින් තිදෙනෙකු (03), ඩිංගි යාත්‍රාවක් (01) සමඟ මුහුදු කූඩැල්ලන් එකසිය තිස් නවයක් (139) හා හක්බෙල්ලන් විසි දෙකක් (22) සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මඟින් 2025 පෙබරවාරි මස 19 වැනි දින හලාවත සින්නපාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් අල්ලන ලද ධීවරයින් හයදෙනෙකු (06), ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ මුහුදු කූඩැල්ලන් හතලිස් පහක් (45) හා කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.
2025 පෙබරවාරි මස 19 වැනි දින උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම වෙත්තලකේණි ආයතනය මඟින් මුල්ලියාන් කඩෙයිකාඩු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, වලංගු ධීවර බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සැකකරුවෙකු (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 58ත් අතර වයසේ පසුවන මුලතිව්, පුත්තලම, කල්පිටිය, කොට්ටන්තිවු, තෝපූර් සහ මුල්ලියාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම සැකකරුවන් සමඟ ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය, පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය, මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය, මුතූර් ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරිණි.