නාවික හමුදාව මඟින් දෙසතියක කාලයක් තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 07ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසීය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 03 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලය තුල සිලාවතුර, විල්පත්තුව, ත්‍රිකුණාමලය කොඩ්බේ සහ මෝදර කිඹුලා ඇල, කෝවිල පාර යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා ගෑම් විස්සක් (20), මාවා මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් එක්දහස් පනහක් (1050) සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් විසි හයයි (26) මිලිග්‍රෑම් තුන්සිය හැත්තැ හයක (376) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, සිලාවතුර පොලීසිය හා එක්ව සිලාවතුර, මරිච්චිකඩ්ඩි ප්‍රදේශය තුල සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා ග්‍රෑම් විස්සක (20) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) 2025 පෙබරවාරි මස 03 වැනි දින නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කල අතර, 2025 පෙබරවාරි මස 08 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනය, සිලාවතුර පොලීසිය හා එක්ව විල්පත්තුව කල්ආරු මාර්ග බාධකයේදී සිදු කල පරික්‍ෂාවකදී මාවා මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් එක්දහස් පනහක (1050) පමණ තොගයක් ප්‍රවාහනය කල සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, මෝදර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 10 වැනි දින මෝදර, කිඹුලා ඇල ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටයි (08) මිලිග්‍රෑම් දෙසිය හතලිස් හයක (246) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ 2025 පෙබරවාරි මස 16 වැනි දින මෝදර, කෝවිල් පාර ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහලොවක (15) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසුකර දීම සිදුකෙරිණි.

තවද, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය, සර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2025 පෙබරවාරි මස 12 වැනි දින ත්‍රිකුණාමලය, කොඩ්බේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් එකසිය තිහක (130) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර දීම සිදුකෙරිණි.

මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 45ත් අතර වන මන්නාරම, වව්නියාව, මෝදර කෝවිල්පාර, කිඹුලා ඇල, මාදම්පිටිය, ත්‍රිකුණාමලය සහ චයිනබේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, සිලාවතුර, මරිච්චිකඩ්ඩි හීදී කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු හා යතුරු පැදිය සහ විල්පත්තුව කල්ආරු මාර්ග බාධකයේදී මාවා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලිසිය වෙතත්, ත්‍රිකුණාමලය කොඩ්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමඟ අයිස් මත්‍ද්‍රව්‍ය චයිනබේ පොලීසිය වෙතත්, අයිස් මත්ද්‍රව්‍ය සමඟ මෝදර, කිඹුලා ඇල සහ කෝවිල් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා බ්ලූමැන්ඩල් සහ මෝදර පොලීසිය වෙතත් ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.