මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 පෙබරවාරි මස 22 රාත්‍රී කාලයේ සහ 23 අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2025 පෙබරවාරි මස 22 රාත්‍රී කාලයේ සහ 23 අළුයම් කාලයේ මන්නාරමට උතුරෙන් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු සහ උතුරු මැද නාවික විධාන මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, උතුරු නාවික විධානයට අනුයුක්ත යාත්‍රා සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, තව දුරටත් නීතී විරෝධී ලෙස දේශීය ජල තීරය තුළ මසුන් ඇල්ලීමේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කර එම ධීවර යාත්‍රා පහ (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනෙකු (32) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මෙහිදී නාවික හමුදවට නීත්‍යානුකූලව ඉන්දීය ධීවර යාත්‍රා වෙත ගොඩවී පරීක්‍ෂා කිරීම සඳහා ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) අනුකූලතාවය දක්වා තිබිණි.

තවද, මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිස් දෙදෙනා (32) තලෛයිමන්නාරම ජැටිය වෙත රැගෙන ආ අතර ඉදිරි තීනිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

මෙම මෙහෙයුමත් සමඟ 2025 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින්, දේශීය ජලතීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා දහ අටක් (18) සහ ඉන්දීය ධීවරයින් එකසිය තිස් එක් දෙනෙකු (131) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.