නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 07 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව කින්නියා, සින්නවේලි, සල්ලිමුනෙයි, නන්දිකඩාල් සහ වංකාලේ වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 සිට 24 දක්වා කාලය තුලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් මසුන් ඇල්ලීම සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙක් (07), ධීවර යාත්‍රා දෙකක් (02), නීති විරෝධී ධීවර දැල් හැට පහක (65) තොගයක්, ඩෙටනේටර් හතරක් (04), ජෙලග්නයිට් කූරු දෙකක් (02) සහ අඟල් තුනක් (03) දිග සේවා නූල් හතරක් (04) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනය මඟින් 2025 පෙබරවාරි මස 19 වැනි දින ත්‍රීකුණාමලය කින්නියා වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පාර්සලයක බහා එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ ඩෙටනේටර් හතරක් (04), ජෙලග්නයිට් කූරු දෙකක් (02) සහ අඟල් තුනක් (03) දිග සේවා නූල් හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

2025 පෙබරවාරි මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් ත්‍රීකුණාලමය සින්නවේලි වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ බවට සැක කෙරෙණ මත්ස්‍යයන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගත් අතර, 2025 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය සල්ලිමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි.

එමෙන්ම, 2025 පෙබරවාරි මස 23 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් මුලතිව් නන්දිකඩාල් කලපු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී උගුල් දැල් පනස් අටක් (58), නීති විරෝධී ට්‍රැමල් දැල් හතරක් (04) සහ මොනොෆිලමන්ට් දැල් තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීම සිදුකෙරිණි.

තවද, 2025 පෙබරවාරි මස 24 වැනි දින උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනය මඟින් මන්නාරම වංකාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සඳහා සූදානම් වෙමින් සිටි සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගත් අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 71ත් අතර වයසේ පසුවන කල්මුනායිකුඩි, කල්මුනේ, නිලාවේලි, මන්නාරම සහ වංකාලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත.

එම සැකකරුවන් සමඟ ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය, කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය, මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය සහ මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කෙරුණි. නාවික හමුදා භාරයට ගත් ඩෙටනේටර්, ජෙලග්නයිට් හා සේවා නූල් සහිත වානිජ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්‍ෂිතව තබා ඇත.