2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බී තරඟාවලිය, 2024 වර්ෂයේ දෙසැම්බර් මස28 වැනි දින සිට 2025 වර්ෂයේ මාර්තු මස 14වැනි දින දක්වා පැවැත්වූනු අතර, එම තරඟාවලියේ 2025 මාර්තු මස 14 වැනි දින සිආර් ඇන්ඩ් එෆ්සි ක්‍රීඩා සමාජය සමඟ වැලිසරදී පැවති අවසන් තරඟයෙන් ලකුණු 61-05 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් අන්තර් සමාජ කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාෂයක් පෙන්නුම් කල නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම, පලමු වටයේදී සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලකුණු 44 – 15ක් ලෙසින් සහ යුද හමුදා කණ්ඩායම ලකුණු 32 – 07ක් ලෙසින් පරාජය කරමින් දෙවන වටයට තේරීපත් වූ අතර, දෙවන වටයේදී යුද හමුදා කණ්ඩායම ලකුණු 27 – 24ක් ලෙස පරාජය කරමින් අවසන් තරඟය සඳහා තේරීපත් විය. එහිදී, සිආර් ඇන්ඩ් එෆ්සි කණ්ඩායම සමඟ පැවති අවසන් තරඟයෙන් ලකුණු 61 – 05ක් ලෙස සිආර් ඇන්ඩ් එෆ්සි කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ඨ ජයක් ලබාගත් නාවික හමුදා කණ්ඩායම, මෙලෙස 2024/25 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාවට දිනාදීමට සමත් විය.

අවසන් තරඟයේදී දක්‍ෂ ලෙස ක්‍රීඩා කල බල කාන්තා නැවි ආර්එස්එච් කුමාරි උත්සාහක දිනුම් 06ක්ද, සාමාන්‍ය කාන්තා නැවි කේපීඩීපී සත්සරණි උත්සාහක දිනුම් 02ක් ද, නායක කාන්තා නැවි ඩබ්ඩීඑස් ප්‍රභූමාලී සහ නායක කාන්තා නැවි එම්ඩීආර් කුමුදුමාලී උත්සාහක දිනුම් 01 බැගින්ද, නායක කාන්තා නැවි ඒඑස්එච් මදුමාලී උත්සාහක දිනුම 01ක් හා එක් ප්‍රවර්ථනයක්ද සහ නායක කාන්තා නැවි ඩබ්එස්ඩීඑස් විජේතිලක ප්‍රවර්ථන 02ක්ද ලබා ගනිමින් නාවික හමුදා ලකුණු පුවරුව ජයග්‍රාහී ලකුණු 61ක් දක්වා ඉහල නැන්වීමට විශිෂ්ඨ දායකත්වයක් දැක්වූහ.

එමෙන්ම, මෙම තරඟාවලියේදී උත්සාහක දිනුම් 09ක් (ලකුණු 45) ලබා ගනිමින් තරඟාවලි‍යේ වැඩිම ලකුණු ලාභියාට හිමි කුසලානය බල කාන්තා නැවි ආර්එස්එච් හේමකුමාරි විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි සංචිතයේ නිලධාරීන්, පුහුණු කරුවන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගීවී සිටියහ.